ඇය මාගේ පෙම්වතියයි!!!

         

ජීවිතය එහෙම්පිටින්ම කාන්තාරයකි.නිකම් කාන්තාරයක් නොව සහරා කාන්තාරයකි.
මා ඔබට කතන්දරයක් කියමි.කාන්තාරයක කතන්දරයක්.
මේ කතාව පටන් ගන්නේ හින්දි ෆිල්ම් වල වගේ කොල්ලා කෙල්ලව දැක ක්ෂණිකව යාලු වීමෙන් නොවේ.හෙණ කට්ටක් කා මා වසරක් පමණ ඇය පසුපස ගොස් යාලු කරගතිමි. ඒ කටු වැඩක් නැත.කතාව පටන් ගනිද්දී ඇය පෙම්වතියකි.ඔව්.ඇය මාගේ පෙම්වතියය.නිකම්ම පෙම්වතියක් නොව,පොෂ් හයි ක්ලාස් පෙම්වතියකි.
ඇය ඉස්සර මෙසේ නැත.අහිංසක චාම් යුවතියකි.මා ආදරේ කළේ ඇයට ය.එවකට මම රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියෙමි.ඇය ප්‍රයිවට් කැම්පස් ය.මා ආදරේ කළ ඒ අහිංසක යුවතිය මරා දැම්මේ ඇගේ කැම්පස් යාලුවො සෙට් එකය.අච්චර අහිංසක චාම් යුවතියන් ඉන්නා ප්‍රයිවට් කැම්පස් එකේ ඇය සෙට් උනේ වැරදි සෙට් එකටය.සල්ලිකාර දෙමව්පියන් ගේ නාස්තිකාර කෙල්ලෝ සෙට් එකකටය. ඒවා වැඩක් නැත.මොනවා උනත් ඇය මගේ පෙම්වතිය ය.
ඉස්සර මා සමග සයිවර් කඩෙන් කෑ ඇය කෙන්ටකී යන්න ගත්තා ය.පමුණුවෙන් ගත් ඇඳුම් ඇඳි ඇය කෙලී ෆෙල්ඩර් යන්නට ගත්තා ය.ඒවාට වියදම් කලේ මා ය.පෙම්වතෙකු යනු පෙම්වතියකගේ වොලට් එක බව දාර්ශනිකයෙක් කියා ඇත.ඇය පොෂ් වූවාය.මම එන්න එන්නම පුස් වූයෙමි.ඒ මොනවා උනත් ඇය මගේ පෙම්වතිය ය.
මෙහෙම කාලය ගමන් කරන්නට විය.වසර කීපයක් ගත විය.ඇය මේ වන විට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පෙළඹ සිටියා ය.ඇයට එය හඳුන්වා දුන්නේ අර නාස්තිකාර කෙල්ලෙක් ය.ඒ නාස්තිකාර කෙල්ලගේ කව්දෝ ඩිසයිනර් කෙනෙක් ලු ය.ඒ නිසා මගේ පෙම්වතිය  මෝස්තර නිරූපණ ශිල්පිණියක් විය.ඇයගේ වියදම් ඇයම සොයා ගත්තා ය මේ කාලය වන විට ඇය සම්පූර්ණයෙන්ම වෙනස් වී සිටියා ය.කොණ්ඩය පාට කර, ටැටූ ගසා.කොටින්ම කිව්වොත් මටවත් හඳුනාගත නොහැකි තරමට වෙනස් වී සිටියා ය.මා මේවාද ඉවසුවෙමි.කමක් නැත.කෙල්ලන් ලස්සන වීමට කැමති ය.කමක් නැත.මොනවා උනත් ඇය මාගේ පෙම්වතියයි.
මේ අතරවාරයේ ඇය ක්ලබ් යන්නටද හුරු විය.අන්න එවිටනම් මා හට ඉවසීම අඩු විය.මා ඇයට බැණ වැදුනෙමි.එහෙත් ඇය ක්ලබ් ගමන නතර නොකළා ය.මේ මොනවා උනත් තවමත් ඇය මගේ පෙම්වතිය ය.
මේ කම්කටොලු මැද අපගේ අවසාන වසරද ආවේ ය.මා අවසාන විභාගය ලියා නිවසට වී සිටි සමය යි.එවිට ඈ තනිව කොළඹය.කොළඹ සිටින මාගේ මිතුරන් විවිධ කතා ඇය ගැන කීවෝ ය.මා ඒවා ගණනකට නොගත්තෙමි.කවුරු කුමක් කිවත් ඇය මගේ පෙම්වතියයි.ෂූට් වල ඉන්නවා කියා මා සමඟ කතා බහ අඩු කළත් තවමත් ඇය මගේ පෙම්වතිය යි.
එහෙත් යාලුවන් කියනා කතා ඉවසීමට නොහැකි තැන මම ඇයට හොරෙන්ම කොළඹ ආවෙමි,ඇය නිතර යන එන බම්බලපිටියේ ක්ලබ් එකට මමද ඇතුල් උනෙමි.මේ මා ක්ලබ් එකකට යන පළමු වතාව ය.ක්ලබ් එකේ නා නාප්‍රකාර කොල්ලෝ කෙල්ලෝ පිරී සිතිති.මගේ දෑස දස අත දිව ගියේ ඇය සොයමිනි.
ඇය පැමිණ නැත.මගේ යාලුවන් මුසාවන් පවසා ඇත.හිතට දැණුනේ සෑහෙන සිසිලසකි. කවුරු මොනවා කිව්වත් ඇය මගේ පෙම්වතිය ය.
නමුත් එම සිසිලේ ආයු කාලය ඉතා කෙටි විය.ඒ ඊළඟ දර්ශනය දැකීමෙනි.ඇය කොල්ලන් දෙදෙනෙකු සමඟ ක්ලබ් එකටඇතුලු විය.ඔවුන් ලොකු සල්ලිකාරයන් බව පෙණුනි.ඔවුන් VIP ඒරියා එකට යන බව පෙණිනි.මා සිටි තැනට ඔවුන් ඇතුළු වූ VIP ඒරියා එක මැනවින් පෙනේ.මොහොතකින් එක කොල්ලෙකු සාක්කුවෙන් යමක් ගෙන ඇය අතට දුන්නාය.ඇය අතට දී තිබුණේ පැකට්ටුවකි.තව දුරටත් ඒ දර්ශනය නරඹන්නට සිතා මම VIP ඒරියා එක දෙසට පිය නැඟුවෙමි.ඇය එම පැකට් එක කඩා යමක් අත්ලට ගෙන අනෙක් අතේ සුළැඟිල්ලේ නියපොත්තට එම අත්ලට ගත් දෙයින් ස්වල්පයක් ගෙන නාසයට අල්ලා ඉහලට ඇද්දා ය.මට හීන් දාඩිය දැම්මේ ය.ඒ හෙරොයින් විය යුතු ය.ඇය එසේනම් විනාශ වී හමාර ය.
ටික වේලාවකින් ඇය එක් කොල්ලෙකු හා ක්ලබ් එකේ ඉහළ මාලය වෙත යෑමට සැරසුණි.මා ඒ දෙසට යෑමට පා එසවීමි. කුමක් සිදු වුවත් ඇය මගේ පෙම්වතිය ය.
ඒ මොහොතේම කව්දෝ මගේ උරහිසෙන් අල්ලා හැරවීය.ක්ලබ් එකේ සෙකියුරිටි පොරක් ද කොහෙද මගේ ඉස්සරහ ය."Excuseme Mister, Can I see your VIP pass?I never see you around VIP area before" ඔහු කීය.මගේ ගොඩේ පාටනිසාත්,මේ පළමු ක්ලබ් ගමන නිසාත් මා මෙතනට නොගැලපෙන චිත්‍රයක් විය යුතුය.මොන පාස් එකදැයි ඇසුවා පමණක් මතකය.මූණ හරහා වැදුණු දැඩි පහරකින් බිම වැටුණු මා දුටුවේ මා VIP ඒරියා එකේ සිටින බවත්,ඇය සමඟ සිටි අනෙක් කොල්ලා මා දෙස බලා සිනාසෙන බවත් ය.මට VIP පාසස් තිබුණේ නැත.මතක එපමණකි .දෑස් හැර බලන විට පාරේ කොණක මා සිටිණු දැණින.



******************************************************************

මෙය සිදුවී සය මසක් ගත වී ඇත.එදායින් පසුව මා ඇය සමඟ තිබූ අවසාන සම්බන්ධතාවය ද නවතා දැමුවෙමි.පෙම්වතිය උවද තවදුරටත් ඇයගේ ගත යුත්තක් නැත.ඇය වැඩක්ම නැත.
"මල්ලි,බලනවා අන්න තමුසෙගේ ගෑණු ළමයාගේ කැම්පස් එකේ කෙල්ලෙක්ට වෙලා තියෙන ඒක.තමුසෙත් පොඩ්ඩක් අවධානෙන් ඉන්නවා" අයියා පත්තරයක් දික් කළේය.
"මත්කුඩු පානයට ඇබ්බැහි වූ නිරූපණ ශිල්පිණිය සහ මත්කුඩු ජාවාරමේ යෙදුණ කෝටිපති ව්‍යාපාරික පුතුන් දෙදෙනා අතඩංගුවට"
එහි ශීර්ෂ පාඨය විය.එය සිහි වන විට හිස රිදුම් දේ.මොනවා උනත් ඇය මගේ පෙම්වතිය වී සිටියා ය.

CONVERSATION

2 ක් අදහස්:

  1. කොළඹ පාටට වහ වැටුණු ඔය වගේ කෙල්ලෝ කීදෙනෙක් නම් විනාශ වෙලා ඇද්ද අපි නොදන්නවා වුණාට.

    ReplyDelete
    Replies
    1. ඔව්,අපි නොදන්නවා උනාට ගමෙන් කොළඹට එන දහස් ගානක් විනාශ වෙනවා

      Delete